වසර 3කට පසු හම්බන්තොටට එක්දින තරගාවලියක්
වසර 3කට පසු හම්බන්තොටදී පැවැත්වෙන අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගාවලිය අද (2) ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන මේ එක්දින තරගාවලියේ තරග තුනම දිවා තරග ලෙස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හා ඇෆ්ගනිස්තාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යන හොඳම ක්‍රීඩකයන් දෙදෙනා අද පැවැත්වෙන තරගයට සහභාගී නොවීම කැපී පෙනේ. වනිඳු හසරංග තවමත් ක්‍රීඩාවට සුදුසු යෝග්‍යතාවකින් නොමැති අතර, අයිපීඑල් අවසන් තරගයේදී ඇති වූ පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන්ට පළමු තරග දෙකම අහිමි වේ.
පළමු තරගයට වනිඳු හසරංග සහභාගී නොවන බැවින් ශ්‍රී ලංකා සංචිතයේ සිටින දුෂාන් හේමන්තට අද දිනයේ හොඳ අවස්ථාවක් උදාවනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක සඳහන් කළේය.
“රෂීඩ් නැති වුණාට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳ අඩු තක්සේරුවක් නෑ. ඔවුන් සතුව දක්ෂ දඟ පන්දු යවන්නන් කිහිපදෙනකුම සිටිනවා. අපි මේ තරගාවලිය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම්වීමක් ලෙස සලකනවා. ජාත්‍යන්තර තරග පසුගිය දවස්වල අඩු වුණාට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අපට සිටිනවා. අලුත් තණතිල්ලක් නිසා හොඳ තරගයක් තියේවි. වේග පන්දු යවන්නන් තිදෙනකු අද තරගයට ක්‍රීඩා කරනවා. මතීෂ පතිරණට අද අවස්ථාවක් තියෙනවා. ඔහු 17න් පහළ සිට ශ්‍රී ලංකාව නියෝජනය කළා. දිමුත් – ඇන්ජලෝ දෙදෙනාගේ පැමිණීමෙන් කණ්ඩායම ශක්තිමත් වෙලා තිබෙනවා” දසුන් ශානක ඊයේ සූරියවැව පිටියේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“ශ්‍රී ලංකාවයි – ඉන්දියාවයි අතර තණතිලි බොහෝ සමානකම් දක්වනවා. ඒ නිසා මේ තණතිල්ල අපට වෙනස් එකක් නොවෙයි. මේ තරගාවලියේදී අපේ යොවුන් ක්‍රීඩකයන්ට ඉදිරියට එන්න හොඳ අවස්ථාවක් තියෙනවා. රෂීඩ් නැති නිසා එම ස්ථානයේ අලුත් දඟ පන්දු යවන්නෙකු අත්හදා බලනවා. රෂීඩ්ගේ පිටකොන්දේ ආබාධය වේගයෙන් සුව අතට හැරෙමින් සිටිනවා. රෂීඩ් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර ලබනවා” ඇෆ්ගනිස්තාන එක්දින නායක හසමතුල්ලා ෂාහිඩී සඳහන් කළේය.
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන කණ්ඩායම් දෙක අවසන් වරට පසුගිය වසරේ මහනුවරදී පැවති තරගමාලාවේදී හමුවූ අතර, තරග තුනකින් සමන්විත එම තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග 7ක් පවත්වා එයින් 4ක ජය ශ්‍රී ලංකාව හා තරග 2ක ජය ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.
එදා මෙදා තුර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර තරග 21ක් පවත්වා තිබුණද ඇෆ්ගනිස්තානය මුල්වරට මේ තණතිල්ලේ ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප්‍රධාන තුරුම්පු දෙකක් වූ මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ ඊයේ දිනයේ ශ්‍රී ලංකා සංචිතයට එක්වූ අතර, අනුශූරතාව දිනාගත් ගුජරාට් ටයිටන්ස් පිලේ රෂීඩ් ඛාන් හා නූර් අහමඩ් ද ඊයේ දිනයේ ඇෆ්ගනිස්තාන සංචිතයට එක්වූහ.
සූරියවැව ක්‍රීඩාංගණයේ අවසන් වරට 2020දී බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරගයක් පැවති අතර, එහිදී ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක් හිමිවිය. එම ජයග්‍රාහී තරගයට ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න හෙට දිනයේ වසර දෙකකට පසු එක්දින තරග බිමට ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි. තවත් මාස 4කින් ඉන්දියාවේදී පැවැත්වෙන ඕවර 50 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් හොඳම ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් නිර්මාණය කර ගැනීමේ අදිටනින් 35 හැවිරිදි දිමුත් කරුණාරත්න මෙන්ම 36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මේ දෙදෙනාටම අද ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අනිවාර්යෙන්ම හිමි වේ.
දැනට ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනා දිමුත් හා ඇන්ජලෝ වන අතර, ඔවුන්ගේ සේවය එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ලබා ගන්නා බවට සහතිකයක් තේරීම් කමිටුව විසින් දැනටමත් ලබාදී තිබීම විශේෂත්වයකි. දිමුත් මේ වන විට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 34කට ක්‍රීඩා කොට අර්ධ ශතක 6ක් සමඟ ලකුණු 767ක් රැස් කර ඇති අතර, මැතිව්ස් එක්දින තරග 220කට ක්‍රීඩා කොට ශතක 3ක් හා අර්ධ ශතක 40ක් සමඟ ලකුණු 5853ක් රැස් කර සිටී. හෙතෙම සූරියවැව තණතිල්ලේ තරග 19කදී අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 553ක් ලබා තිබීම ද අනෙක් සියලු පිතිකරුවන්ට වඩා සැලකිය යුතු දක්ෂතාවකි.
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 20කට සහභාගීවී ඇති අතර, එයින් ශ්‍රී ලංකාව තරග 9කින් ජයගෙන තරග 3ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ. පිතිකරුවන්ට පාරාදීසයක් බඳු සූරියවැව තණතිල්ලේ පාකිස්තානයට එරෙහිව කඩුලු 4කට ලකුණු 368ක් ලබා වැඩිම ලකුණු එකතුවට ශ්‍රී ලංකාව හිමිකම් කියමින් සිටී.
ශ්‍රී ලංකා සංචිතය:
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (උප නායක – කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, වනිඳු හසරංග, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ.
ඇෆ්ගනිස්තාන සංචිතය:
හසමතුල්ලා ෂාහිඩී (නායක), රහමට් ෂා, රහ්මනුල්ලා ගුරුබාස්, ඉබ්‍රහීම් සඩ්රාන්, රියාස් හසන්, නජිබුදුල්ලා සඩ්රාන්, මොහොමඩ් නබී, ඉක්රාම් අලිකාලී (කඩුලු රකින්නා), අසමතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, අබ්දුල් රහ්මාන්, ෆසාල් හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්.