Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්නවක වදයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි පියවර

නවක වදයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි පියවර

රජයේ විශ්වවිද්‍යාලවල පසුගිය වසර තුනක කාලය තුළ වාර්තා වූ නවක වද සිද්ධි සහ ඊට අදාළව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියම කළේය.

ඒ සම්බන්ධයෙන් වන වාර්තා සති අටකදී ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ඒ අනුව රජයේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට නියෝග කෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2020දී සිදු වූ නවක වද සිද්ධියකදී විශාල බැකෝ ටයරයක් පෙරළීමෙන් එහි පළමු වසරේ සිසුවකුව සිටි පසිඳු හර්ෂණ සිල්වා බරපතළ ලෙස රෝගී වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.

බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි. විශ්වවිද්‍යාලවල සිදුවන නවක වද සිද්ධි නිසා අහිතකර ප්‍රතිඵල රැසක් ඇතිවීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය එහිදී යොමු විය. Òනවක වදයÓ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද අහිතකර ලෙස බලපෑම් ඇති කිරීම සහ පසුගිය කාලයේ සිදු වූ නවක වද සිද්ධි සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව කරුණු සොයා බැලීම සම්බන්ධයෙන් ද විනිසුරු මඬුල්ලේ අවධානය යොමු විය.

එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින රජ‍ෙය් විශ්වවිද්‍යාල 16ක උපකුලපතිවරු සහ පොලිස්පතිවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළේය.

එසේම නවක වද සිද්ධීන් වැළැක්වීමට අදාළව රෙගුලාසි මාලාවක් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා උසස් අධ්‍යාපන ඇමැතිවරයා අත්‍යවශ්‍ය පාර්ශ්වයක් වන බැවින් එම ඇමැතිවරයා ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කරන ලෙස ද නියම කෙරිණ. වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම අගෝස්තු මස 29 වනදා කැඳවීමට ද දින නියම කෙරිණ.

2020 වසරේ මාර්තු මස 05 ඇති වූ නවක වද සිද්ධියකදී ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදු වූ බව පවසමින් පසිඳු හර්ෂණ සිල්වා මෙම පෙත්සම ගොනු කර තිබුණි. මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවද මේ වන තෙක්ම තමන්ට මේ පූර්ණ සුවය ලැබී නොමැති බවත් පෙත්සම්කාර ශිෂ්‍යයා පෙත්සමෙහි සඳහන් කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments